Sunday, November 5, 2017

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ජීවක කෝමාර භච්චය. එතුමන් රෝගීනට ප්‍රතිකාර ලබාදීමේ දී පොදු ජනතාව පමණක් නොව රාජ රාජ මහාමාත්‍ය - සිටුවරු ඇතුළු ප්‍රභූ පංතිය පමණක් නොව තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ද වෛද්‍යවරයා බවට පත් වී සිටියහ.

ජීවක ගෞතම බුදුන් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට පත් වීම සඳහා ප්‍රාර්ථනය ඇති කර ගනු ලැබුවේ පෙර ආත්ම භවයන් රාශියකට පෙර ය. එනම් පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයෙහි හංසවතී නුවර උපත ලැබූ ඔහු එදවස ශාස්තෘන් වහන්සේගේ ප්‍රසාදය ලැබූ උපාසකයකු ව ජීවත් වූ බව (මනෝරථ පුරණියෙහි) සඳහන් වන්නේ ය. හෙතෙම සංඝයා වහන්සේට කරන ලද පූජාවකින් අනතුරුව "මම ඒකාන්ත වශයෙන් ම අනාගත බුද්ධෝත්පාද කාලයෙහි උන්වහන්සේගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන බවට ප්‍රාර්ථනා කළ බව අප හට ප්‍රකට වේ. ජීවකගේ මෙලොව ජනිත වීම පිළිබඳ කතාන්තරය නම් අසන්නාට, කියවන්නාට එතරම් ප්‍රියමනාප වූ එකක්, සිද්ධියක් නොවන්නේ ම ය.

එදවස භාරත දේශයෙහි අතිශය රූබර ලලනාවක් ඉපදුණේ නම් රජ බිසවක් ලෙස රජෙකුට පරිහරණය කිරීමේ දුෂ්කරතා ඇති වී තිබුණු බව ප්‍රකට ව පෙනේ. එවන් අභිරූපිකාවියන් එක රජෙකුට පරිහරණය කිරීමට නොහැකි වූ විට, අදාළ පාලකයන් විසින් ම සුව පහසු මැදුරු, සේවක සේවිකාවන් හා වස්තුව ද සපයා දී රජවරුන්, ඇමතිවරුන්, ක්‍ෂත්‍රීයයන්, ප්‍රමුඛයන් කහවණු දහස් ගණන් අය කොට පිනවීමට සුදුසු පරිදි නීත්‍යනුකූල ලෙස කටයුතු කිරීමට ඔවුනට අවස්ථාව සලසා දී තිබිණි. බුදුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි වේසාලි නම් වූ ධනවත් නගරයෙහි විසූ අම්බපාලී නමැති රූබර ගණිකාව එයට නිදසුනකි. බිම්බිසාර රජු පවා ඇතැම් විට තම ආශාවන් සනහාලන්නට ඇයගේ මැදුර කරා ගොස් ඇය සමඟ දින ගණන් රිසි සේ සතුටින් කල් ගෙවා ඇත.

මෙදවස විශාලා මහනුවර ධනවත් සිටුවරයකුට දාව උපන් කුල කුමරියක් වූ සාලවතී ද රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තියකි. ඇය සිරිකතගේ දියණියක් ලෙස හැඳින්විණි. වරක් ඈ දෙස බැලූ පිරිමියෙකු රජ කුමරෙකු, සිටුවරයකු නැවත ද ඈ දෙස හැරී බලනුයේ ඒ රූසිරි බවින් ආකර්ශනය වීමෙනි. ප්‍රභූ ජනතාවගේ ඉල්ලීම පරිදි රූමත් සාලවතී කුමරිය වෙත රාජ්‍ය අනුග්‍රහයෙන් සුඛෝපභෝගී මැදුරක් සේවකාදීන් හා වස්තුව ලැබුණ අතර ඇය නගර ශෝභිනියක් බවට පත්විය. සාලවතී කුමරිය රූමත් බවින් මෙන් ම නැණ නුවණින් ද යුක්ත වූවා ය. සාලවතී කුමරිය පොකුණෙහි, නාන තොටෙහි සිය යෙහෙළියන් සමඟ දිය නෑමට ගිය විට ද, බිම්බිසාර රජුගේ කනිටු පුත් අභයරාජ කුමරා ඇයගේ දර්ශනය ද, දෙවනු ව ඇසුර ද ප්‍රිය කළේ ය. වැඩිකල් නොගොස් කුමරිය වසන මැදුර නිසසල විය. කුමරුන් නිසා ඈ ගැබ්ගෙන සිටි නිසාය. ගැබ්බරින් පසු වූ සාලවතී නගර ශෝභිනිය දිනක් අඳුරු කුටියෙහි ප්‍රසූත වේදනාවෙන් පසුවෙමින් සිට, අරුණෝදයට ආසන්න රාත්‍රියෙහි පුත්‍රයෙකු ප්‍රසූත කළාය. වැදූ ළපැටියා කොතරම් හුරුබුහුටි බැව් පෙනුනත් නගර ශෝභිනියකට පුතෙකුගෙන් ඇති ඵලය කිම? ඇතමුන් අනුමාන කරන්නේ ඇයට වැදූගෙයි සන්නියක් වැළඳෙන්නට ඇතැයි කියා ය. කෙසේ හෝ ඇය සිහිවිකල්ලෙන් මෙන් තමා ප්‍රසූත කළ ඒ දයාබර ලේ කැටි පුතු උපන් සැනෙකින් ම තම සේවිකාවකට කියා මදක් ඈතින් පිහිටි කසළ ගොඩක රඳවනු ලැබුවා ය. මද වේලාවක් ගත වෙත් ම අරුණෝදය දීප්තිමත්ව හැම තැන සිසාරා පැතිර යමින් තිබිණි.

ඒ උදෑසන තරුණ අභය රාජ කුමරුන් ව්‍යායාමයක් ලෙසින් දෝ තම ආරක්ෂක රාජ්‍ය සේවකයන් ද සමගින් අසුපිටින් මේ අසලින් පියමන් කරමින් සිටියේ ය. කසළ ගොඩෙහි කුණු තැවරුණු සුරුබුහුටි සිඟිති බබෙකු සිටිනු දුටු රජකුමරා නොපමාව මොහොතකට අසු නවතා දරුවා තවමත් ජීවතුන් අතර දැයි විමසීය. එසේ ය, කුමරුනි යයි සවනෙහි රැඳෙත් ම, එසේ නම් වහාම දරුවා අහුලා ගන්න යැයි රාජ්‍ය සේවකයන් දැනුවත් කළේ ය. ළදරුවා නිරුපද්‍රිත ව ජීවතුන් අතර පසු වූ බැවින් ඔහු රජ මැදුර කරා සෙනෙහසින් ගෙන ගොස් කිරිමව්වරුන්ට භාර කළහ. සිඟිත්තා ජීවත් වන බැවින් 'ජීවක' යයි නම් තබනු ලැබුවේ ය. අභය රාජ කුමරා ළදරුවා වෙත සෙනෙහසින් අවශ්‍ය සැප සම්පත් ලබා දෙමින් ස්නේහයෙන් පෝෂණය කරගන්නා ලද්දේය. ඔහුට රජ කුමරකුට මෙන් අවශ්‍ය සියලු සුව පහසුකම් සලසා දුන් අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන් ඔහු හැඳින්විණි. ළදරුවා කුඩා කල සිට ම වැඩිහිටි බසට කීකරු බුද්ධිමත් ගති ලක්ෂණ පෙන්නුම් කරනු ලැබුවේ ය. නිමිති ලක්ෂණ පිළිබඳ පඬිවරු ඔහු ගැන පැවසුවේ ස්ථිර වශයෙන් ම මොහු මහා පඬිවරයකු වීමේ වාසනා ගුණයෙන් යුතු ව සිටින බව ය. ජීවකයාගේ පියා තමා බව අභයරාජ කුමරු පුතුට සෙනෙහසින් පවසා ඇත. ජීවකට කුඩා කල රජ කුමරෙකුට මෙන් පූර්ව අධ්‍යාපනය ලබා දුන්නේ ය. ඔහුට අවශ්‍ය වූයේ සාමාන්‍ය රජ කුමරෙකුට ලබා දෙන්නා වූ යුද ශිල්පය, ධනු ශිල්පය ආදී වශයෙන් රාජ්‍ය පාලකයකුට ලබා දෙන්නා වූ අධ්‍යාපනයන් ප්‍රගුණ කරලීම නොවේ. ජීවක කුඩා කාලයේ පටන් ම සත්ත්ව ශරීරයෙහි ඇතිවන වේදනා දැන සිටියේ ය. දිනක් ඔහු දුනුවායකු නිසා වේදනාවෙන් ලේ ගලමින් සිටි සැළලිහිණියකු ගෙනවුත් ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේ ය. ජීවකගේ සිත්හි පෙර ආත්මවල සිට පැවත ආවේ ලෝ සතුන් ශාරීරිකව සුවපත් කරලීමයි. එකී මාහැඟි අධිෂ්ඨානයක් පෙරදැරි කරගෙන සිටි ඔහු දිනක් කිසිවෙකුට හෝ නොදන්වා තක්ෂිලා නුවර විශ්වවිද්‍යාලයේ දිසාපාමොක් මහැදුරු අබියසට පැමිණියේ ය. තමා පැමිණියේ 'වෛද්‍ය විද්‍යාව' හැදෑරීමට යැයි හෙතෙම පැවසීය. එසේ නම් චාරිත්‍රානුකූල ව ගුරු පඬුරු ගෙනවිත් තිබේ දැයි ඇදුරුතුමන් විමසීය. තමා බිම්බිසාර රජ මාලිගයේ වසන බවත්, ඔහුට නොදන්වා මෙහි පැමිණි නිසා කහවණු නොගෙනා බවත් පවසමින්, ඒ වෙනුවට තමා මහැදුරු තුමාගේ බැල මෙහෙවරකම් කරදෙන බවත් පැවසීය. දිසාපාමොක් ඇදුරුතුමන් ජීවකගේ ශරීර ලක්ෂණ දෙස නිරීක්ෂණය කර බලා, මොහු විශිෂ්ට ඥානවන්තයකු වන බව තේරුම් ගෙන, ඔහු ව වසර හතක වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීම පිළිබඳ වූ අධ්‍යයනය සඳහා බඳවා ගනු ලැබුවේ ය.

'වෛද්‍ය පීඨයේ' තක්ෂිලා නුවර සරසවියේ වෛද්‍ය විෂය ධාරාව හදාරා ඉතා දක්ෂ ලෙස අවසන් කළ ජීවක තමා අබියසට කැඳවූ වයෝවෘධ දිසාපාමොක් මහැදුරුතුමා මෙවන් ඉල්ලීමක් ඔහුට ඉදිරිපත් කළේ ය. එනම් මේ මිහිතලය තුළ ඖෂධයක් නොවන කිසියම් පැළෑටියක් වේ නම් එය සොයාගෙන අවුත් තමන් වෙත නොපමාව ඉදිරිපත් කරන ලෙස ය. දිසාපාමොක් ඇදුරුතුමා පෙන්වා දුන් පෙදෙස වූ සොළොස් ගව්වක ප්‍රමාණයක් ආවරණය වූ භූමි තලයක් සිසාරා විවිධ වෘක්ෂ හා පැළෑටිවල මුල් පොතු, කොළ, කඳ පිළිබඳ ව පර්යේෂණය කළ ජීවක තම වගකීම් කාර්යය නිමා කොට, සිය නිගමනය මෙලෙස හෙළි කළේ ය. මේ මිහිතලය මත එවන් ඖෂධයක් නොවන කිසිදු පැළෑටියක් නොතිබෙන බව ය. දිසාපාමොක් ඇදුරුතුමන් ජීවක මහා ප්‍රාඥ වෛද්‍යවරයකු ලෙස එමගින් අවසන් ලෙස නිගමනය කළ අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන් ද, (කුමාරෙන පොසාපිතො කොමාරපච්චො) යනුවෙන් ද ඔහු හඳුන්වන ලදි.

වෛද්‍ය ජීවක කෝමාර භච්ච තක්ෂිලා නුවරින් ආපසු තම උපන් ප්‍රදේශයට ඒමට පිටත් ව සිටියදී, සාකේත නුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයකුගේ ඇඹේණිය සත්වසරක් දැඩි හිස රුජාවෙන් පෙළෙමින් සිටි අතර, තම වෛද්‍ය ප්‍රතිකාරයෙන් ඇය සුවය ලැබුවා ය. සතුටට පත් සිටුවරයා සිය ධනයෙන් කහවණු දහසයදහසක් ඔහුට තිළිණ කළේ ය. මේසා විශාල ධනයක් පිරිනැමුවේ කුමකට ද, මා ජීවත් වන්නේ වෛද්‍ය කර්ම කිරීමට විනා ධනය ඉපයීමකට නම් නොවන්නේ යයි හෙතෙම සිතුවේ ය.

ජීවක වෛද්‍යවරයා රජගහනුවරට පැමිණි විට අභයරාජ පියා තම පුතණුවන් පැමිණීම නිසා මහත් සේ සොම්නසට පත්විය. ඔහු සතුට පළ කළේ ජීවක තමාට දාව උපන් බව පවසමිනි. ඉක්බිතිව අභය රාජ කුමරුන් දයාවෙන් ජීවක වෙත තම රජ මැදුරට සමීප ව තවත් මැදුරක් ද තනවා වාසය සඳහා පිළිගැන්වීය.

දෙවනු ව ජීවක වෛද්‍ය - බිම්බිසාර රජු බගන්දරා නම් රෝගයෙන් පෙළෙමින් සිටි බැවින් එම රජුට ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේ ය.

ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්‍රමෝදයට පත් රජු ඔහුට 'වෛද්‍ය ශිරෝමණී' නාමය සහිත තනතුරු ද ලක්ෂයක් අගනා නියම් ගමක් ද අඹ උයනක් ද සිය ගණනක් පරිවාර ජනයා ද ප්‍රදානය කරන ලදි.

ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්‍රමෝදයට පත් රජු ඔහුට "වෛද්‍ය ශිරෝමණී" නාමය සහිත තනතුරු ද ලක්ෂයක් අගනා නියම් ගමක් ද අඹ උයනක් ද සිය ගණනක් පරිවාර ජනයා ද ප්‍රදානය කරන ලදි.

මේ අතර උදේනි නුවර චණ්ඩපජ්ජෝති රජුගේ ආරාධනයෙන් වෛද්‍ය මෙහෙවරක් කිරීමේ අවස්ථාව ජීවකට උදාවිය. ජීවකගේ ප්‍රතිකාර මහිමයෙන් රජුගේ රෝගාබාධ පුදුමාකාර ලෙස නිවාරණය විය. මෙයින් ඉමහත් සතුටට පත් රජු ජීවකට මහා ධන පරිත්‍යාගයක් ද මිල කළ නොහැකි අගනා සළුවක් ද පරිත්‍යාග කරන ලද්දේය. ජීවක මේ අගනා සළුව බුදුන් වහන්සේට පූජා කළ බැව් සඳහන් වේ. රජගහනුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයකු රෝ බියෙන් පසු වූ අතර, ඔහුගේ හදිසි මරණය දින 05 කින් සිදු වන බවට තොරතුරු පැතිරිණ. ජීවක වෛද්‍යවරයාණන්ගේ ප්‍රතිකර්මවලින් සුවය ලැබූ සිටුවරයා තමන්ගේ අසූ කෙළක් ධනය වෛද්‍යතුමන් වෙත පවරමි යැයි සැළකර සිටියේ ය. බරණැස් නුවර (බාරනාසි) සිටුවරයකුගේ රෝගාබාධයකයට ද ප්‍රතිකාර කොට සුවය ලබා දී මහා ධන සම්පත් පරිත්‍යාග පිරිනැමිණ.

ජීවක වෛද්‍ය විශේෂඥවරයාණන් නොබෝ කලෙකින් දඹදිව් තලයෙහි මහා ධනවතෙකු බවට පත් වූ අතර මහමැදුරු සංකීර්ණයකින් සමන්විත ජීවකාම්බ වනයේ හිමිකරු බවට ද පත්විය.

"දික් සඟියෙහි සාමඤ්ඤඵල සූත්‍රයෙහි සඳහන් පරිදි මේ සශ්‍රීක 'ජීවකාම්බවනය' සියලු සම්පත් සමගින් පසු කල බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලද්දේය.

බුදුන් වහන්සේ සමීප ව ඇසුරු කළ ජීවක වෛද්‍යවරයාණන් උන්වහන්සේ කෙරෙහි දැක්වූයේ අප්‍රමාණ භක්තියකි. ගෞරවයකි. බුදුරදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ වෙත "ජීවකාම්බ වනය" පූජා කරලීමට පෙරාතුව, බුදුන් වහන්සේට වැඩ සිටීමටත්, භාවනා කිරීමටත්, සරිලන ආකාරයෙන් භාවනා කුටි, ධර්ම දේශන ශාලා, මණ්ඩප, දාන ශාලා, සක්මන් මළු ඇතුළු බෞද්ධ විහාරාංගයක අත්‍යවශ්‍ය ගෘහ නිර්මාණ අංගයන්ගෙන් පරිපූර්ණ සංඝාරාමයක් හෙතෙම ඉදි කර වූයේ ය. ගොඩනැඟිලි හාත්පස අටළොස් රියන් ප්‍රාකාරයක් ද ඉදිකර වී ය. බුදුන් වහන්සේ වඩාත් කැමැත්තෙන් මේ නිස්කලංක සංඝාවාසයෙහි හා ගන්ධකුටියෙහි වැඩ වෙසෙමින් ජීවක සූත්‍රය, සාමඤ්ඤඵල සූත්‍රය, චුල්ලසෙට්ටි ජාතකය ආදී සූත්‍ර රාශියක් දේශනා කරමින් ශාසනික මෙහෙවරෙහි නිරත වූ බව ත්‍රිපිටකයෙන් සනාථ වේ. ජීවක වෛද්‍ය විසින් බුදුන් වහන්සේට විහාරයක් තනා පූජා කළ බව ජීවක සුත්ත වණ්ණනා - පපඤ්චසුදනියෙහි සඳහන් වේ.

ජීවක කෝමාරභච්ච සෝවාන් ඵලයට පත් වූ උපාසකයෙකු බව ද ප්‍රකට වන්නේ ය. ජීවක එක් කලෙක භාග්‍යවතුන් වහන්සේගේ දොස් කිපී පීඩිත ව පැවති ශරීරය සැහැල්ලු වන ආකාරයට විරේක කරවා සිවෙය්‍යක වස්ත්‍ර යුගලය පූජා කොට වස්ත්‍ර දන්දීම නිසා කළ අනුමෝදනාව අවසන සෝවාන් ඵලයෙහි පිහිටියේ යැයි ද සඳහන් වේ

"ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ සරණ යමි, භික්ෂු සංඝයා සරණ යමි. ධර්මරත්නය සරණ යමි. "ජීවක සුත්ත වණ්ණනා - පපඤ්චසුදනිය" ඒ බව සඳහන් කර ඇත. දම්රජාණෝ ජීවකයනට කළ ධර්ම දේශනය - මජ්ඣිම නිකායේ - ජීවක සූත්‍රයෙහි සඳහන් වන්නේ ය.

මහාවග්ගයේ විවරක්ඛන්ධක යේ සඳහන් මෙම කොටසින් ජීවක වෛද්‍යවරයාණන් බුදුන් වහන්සේගේ ශරීරයේ ඌෂ්ණාධික අවස්ථා නිවාරණය කොට ශරීර සුවය ලබාදීමට ඉවහල් වී ඇත. ඒ මෙසේ ය.

ජීවක විසින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ දොස් කිපී සිටි අවධියක, භාග්‍යවතුන් වහන්සේට තිස් වසරක විරේකය සඳහා බෙහෙත් ප්‍රතිකාර කර ඇත. එක් එක්වර විරේක ප්‍රතිකාර බේත් ගැනීමෙන් පසු උණු දිය ස්නානය කළ යුතු බැව් සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මේ ප්‍රතිකාර මාලාව මගින් ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිනිඳු ආහාර ගැළපේ යැයි ද නිගමනය කොට ඇත. අනතුරුව ගෞතමයාණන් වහන්සේගේ ශරීරය මද කාල පරිච්ඡේදයකින් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පත් වී ඇත.

(විවරක්ඛන්ධකය - මහාවග්ගය.)

බුදුන් වහන්සේ වැඩ සිටි තවත් විහාරයක් වූ "මද්දකුච්චි විහාරය" ජීවකාම්බ වනය නුදුරින් පිහිටි එකකි. පාපතර දෙව්දත් තෙර ගිඡ්ජකුට පර්වතයේ උඩ සිට බුදුන් වහන්සේ ඝාතනය කිරීම සඳහා මහගල් පෙරළීය. ක්ෂණයෙන් පොළොවෙන් මතු වූ ආධාරක කළුගල් මගින් බුදු සිරුරට රක්ෂාවරණය සලසන ලදි. එහෙත් මේ අවස්ථාවේ දී කැඩී ගිය ගල් පතුරක් වැදීමෙන් බුදු සිරුරට වේදනාවක් ඇති වූ අතර උන්වහන්සේට පියනගා ගමන් කිරීමට පවා දුෂ්කර විය. එහි දී භික්ෂූන් වහන්සේ මේ ස්ථානයට පැමිණ මඤ්චසිවිකාවක බුදුන් වහන්සේ හොවා වඩා හිඳුවා - මද්දකුච්චි විහාරයට ඔසවා වැඩම කරවා ගෙනා අතර, එතැන් සිට ජීවකාම්බ වනයේ උන්වහන්සේ වැඩ සිටින ගන්ධකුටියට නැවත ඔසව ගෙන එන ලද්දේය. එහි දී බුදුන් වහන්සේට ප්‍රතිකාර කරලීමට කැඳවන ලද්දේ උන්වහන්සේගේ ජීවක වෛද්‍යවරයාණන්ට ය. ජීවක වෛද්‍යවරයාණන්ගේ ප්‍රතිකාර මගින් සියලු ශාරීරික අපහසුතා දුරු වූ අතර, බුදුන් වහන්සේට නැවත ශාරීරික සුවය ළඟාවිය. පාපතර දේවදත්ත බුදුන් වහන්සේගේ ලේ සෙලවීමේ පාපකර්මය නිසා අපාගත විය.

භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න බව

රැකදීම සඳහා බුදුන් වහන්සේ ජීවක වෛද්‍යවරයාණන්ගේ අනුශාසනා ඒ ආකාරයෙන් ම පිළිගත් බවත් ත්‍රිපිටකයේ සඳහන් වලින් සනාථ වේ. රස බොජුන් වළ¹ ශරීරයට නිසි ව්‍යායාම නොලැබ වාසය කිරීමෙන් භික්ෂු සංඝයා වහන්සේ ශාරීරික රෝගාබාධයනට ගොදුරු වන බව පළමුවෙන් ම පෙන්වා දී ඇත්තේ ජීවක වෛද්‍යතුමන් ය. ශාරීරික සෞඛ්‍ය රැකෙන ආකාරයෙන් සක්මන් භාවනාවෙහි යෙදීම, ආරණ්‍ය - සංඝාවාස - නිවහන, ගෙවත්ත නිසි ලෙස අතුපතු ගා පිරිසිදු කිරීම ආදී ක්‍රියාවන්හි භික්ෂු - භික්ෂුණිය නිරතවීම සුදුසු බව බුදුන් වහන්සේ ඒ අනුව සසුන දැනුවත් කර ඇත.

ජීවක, තුන්ලෝකාග්‍ර ශාන්ති නායක බුදුරදුන්ගේ වෛද්‍යවරයා බවට පත්වීමට තරම් වූ කුසල කර්මයන්ගෙන් පිරුණු මහෝත්තමයකු විය. මහණෙනි, යම් කෙනෙක් මට උවටැන් කරන්නේ නම් ඔහු විසින් ගිලනුන්ට උපස්ථාන කළ යුතු යැයි වදාළහ. (මහාවග්ගපාලි) ජීවක වෛද්‍යවරයා තමන් හරිහම්බු කරගත් කෝටි ගණන් ධනය බුද්ධ ශාසනික කටයුතුවලට නිර්ලෝභී ව පිරිනැමූ අතර, අන්‍යාගමික බැතිමතුනට වෙනසක් නැතිව ධන පරිත්‍යාග කර ඇත.

ජීවක වෛද්‍යවරයා සිය දිවියෙහි අවසාන කාලයෙහි බුදු සසුනෙහි පැවිදි වූ අතර මාර්ගඵල ලැබූ ප්‍රසන්න පුද්ගලයන් අතර ප්‍රධාන තැන ජීවකට හිමිවිය යුතු ම යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. (අංගුත්තර නිකාය)

භාර්හුට් ස්ථූපයෙහි ඇති 'භාර්හුට් කැටයමක' ජීවක අඹ වනයෙහි මණ්ඩමාල නම් වූ නිසීදක ශාලාව විදහා පෙන්වා දක්වා ඇත. ජීවක අඹ වනයෙහි ගොඩනැඟිලි සංකීර්ණය එදවස බුදුන් වැඩ සිටි කාලයෙහි ව්‍යාප්ත ව ඉදි වී තිබිණි. මේ සංකීර්ණයේ චතුරස්‍රාකාර ගොඩනැඟිලි නටබුන් හමු වී ඇත. ඒ අතර භාජන, පාත්‍ර, දීසි, කෝප්ප ආදී උපකරණ රාශියක නටබුන් ද ඉන්දීය පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇත.

තථාගතයන් වහන්සේ ලෝවැසියන්ගේ දුක් කම්කටුලුවලට වෙදකම් කළ මහා වෙදාණන් 'භෙසඡ්ජගුරු' ලෙස අංගුත්තර නිකායේ සඳහන් වේ.

ආචාර්‍ය සිරි නිස්සංක පෙරේරා</> 

දිවයින 01/05/2011 හා 08/05/2011


බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ...