Thursday, October 12, 2017

අෂ්ඨාංග ආයුර්වේද යනු

ආයුර්වේදය ප්‍රධාන අංග අටකට බෙදා දැක්විය හැකිය.අෂ්ඨාංග ආයුර්වේද ලෙස දැක්වෙන්නේ මෙම අංග අටය.

👉අංග අට මොනවාද?

1. කාය චිකිත්සා
2. කෞමාරහෘත්‍ය තන්ත්‍රය
3. භූත විද්‍යා තන්ත්‍රය
4. ශාලක්‍ය තන්ත්‍රය
5. ශල්‍ය  තන්ත්‍රය
6. අගද තන්ත්‍රය
7. රසායන තන්ත්‍රය
8. වාජීකරණ තන්ත්‍රය

දැන් අපි බලමු මේ එක් එක් අංගය පිළිබඳව කෙටියෙන්

1. කාය චිකිත්සා

සර්වාංගය ආශ්‍රය  කල රෝගයන්ගේ ශමනය සදහා ප්‍රධාන වශයෙන් ප්‍රයොජනවන් වන අංගය කාය චිකිත්සා තන්ත්‍රය නම් වේ.

2. කෞමාරහෘත්‍ය තන්ත්‍රය

කුඩා දරුවන් පෝෂණය කිරීම,කිරි මවගේ තනකිරිවල ඇති දොස් සංශෝධනය කිරීම,දූෂිත තනකිරි පානය කිරීමෙන් හා දුෂ්ට ග්‍රහයන් ආවේශයෙන් කුඩා දරුවනට වැළදෙන රෝග සංසිදවීම යන මේවා සදහා ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන අංගය කෞමාරහෘත්‍ය තන්ත්‍ර නමි.

3. භූත විද්‍යා තන්ත්‍රය

දේවතා,අසුර,ගාන්ධර්ව,යක්ෂ,රාක්ෂස,පීතෘ,නාග,ග්‍රහ ආදීන්ගේ ආවේශය හේතුවෙන් හටගන්නා ග්‍රහාවේශයන් ශමනය කිරීම සදහා ශාන්ති කර්ම ආදී ක්‍රියාවන් මුල්කොට ඇති තන්ත්‍රය මේ නමින් හැදින්වේ.

4. ශාලක්‍ය තන්ත්‍රය

දසරුවෙන් ඉහල පවතින ඇස,කන,මුහුණ,නාසය ආදී අංගෝපාංගයන්හි උපදින රෝගයන්ගේ ශමනය සදහාද ශලාකා යන්ත්‍ර ප්‍රයෝගය සදහාද ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන අංගය ශාලක්‍ය තන්ත්‍රය නමි.

5. ශල්‍ය තන්ත්‍රය

නානා විධි වූ ශල්‍ය වර්ග උදුරා දැමීම සදහාද යන්ත්‍ර,ශස්ත්‍ර ක්ෂා,අග්නි කර්ම යන මේවායේ ප්‍රයෝගයන් දැක ගැනීම සදහා මෙන්ම ව්‍රණ විනිශ්චය සදහාද  ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන අංගයයි.

6. අගද තන්ත්‍රය

සර්ප,කීට,ලූතා(මකුළු),මූෂික ආදීන්ගේ දෂ්ට විෂ විනිශ්චය කිරීමත්,විවිධ වූ ස්ථාවර ජංගම විෂ,සංයෝජ විෂ යන මේවා ශමනය කිරීමත් සදහා ප්‍රයෝජනවත් වන අංගයයි.

7. රසායන තන්ත්‍රය

වය: ස්ථාපනය ආයුෂ-බල-මේධා-ශක්ති යන මේවා වර්ධනය, රෝග පහ කර දැමීම යන මේවා සදහා ප්‍රයෝජනවත් වන අංගයයි.

8. වාජීකරණ තන්ත්‍රය

අල්ප වූද,දූෂිත වූද,හීන වූද,වියලුණාවූද,ශුක්‍ර ධාතුව ඇතියවුන් ගේ ශුක්‍ර ධාතුව වර්ධනය කිරීම,පැහැදවීම,රැස්කිරීම,ඉපදවීම යන මේවා සදහාද,මෛථුන කර්මය පිළිබඳ වේගය ශක්තිය හා හර්ෂය වර්ධනය කිරීම සදහාද ප්‍රයෝජනවත් වන අංගය වාජීකරණ තන්ත්‍රය යි.

ඉතින් ආයුර්වේදයේ ප්‍රධාන අංග අට පිළිබඳව යම් වැටහීමක් ඔබට ලැබෙන්න ඇතැයි සිතමි. මෙහීදී මෙම අංග පිළිබඳව කෙටි විස්තයක් සිදුකර ඇති අතර ඉදිරියේදී ඒවා පිළිබඳව වෙන වෙනම සවිස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

~උදාර ජයසුන්දර ~

1 comment:

Post a Comment

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ...