Thursday, March 16, 2017

දැවුම් පිළිස්සුම් ච්කිත්සාවෙන් දස්කම් පෑ රාජසේකර වෙද පරපුර

දේශීය වෙදකම වනාහී ශත වර්ෂ ගණනාවක් තිස්සේ මෙරට ජනතාවට  නීරෝගිමත් දිවිපෙවෙතක් අත්කර දුන් මහඟු වෛද්‍ය ශාස්ත්‍රයකි.

එකී වෛද්‍ය ශාස්ත්‍රයේ සුවිශේෂී චිකිත්සීය අංගයක් ලෙස දැවුම් පිළිස්සුම් වෙදකම දැක්විය හැකිය.

ආනාදිමත් කාලයක සිට මෙම වෛද්‍ය කර්මය තුලින් රෝගීන් සිය දහස් ගණනක් සුවපත් කල  වෙද පරපුරක් ලෙස රාජසේකර වෙද පරපුර සුප්‍රකටය.

මෙම වෙද පරපුරේ වර්තමාන පුරුක ලෙස
විශේෂ වෛද්‍ය පී.එල් රාජසේකර මහතා දැනුදු රෝගීන් විශාල සංඛ්‍යාවකට සෙත සලසමින්
කටයුතු කරයි.

අපගේ මෙම ලිපියේ අරමුණ වනුයේ එකී වෙද පරපුර පිළිබඳව ඔබව දැනුවත් කිරීමය.

රාජසේකර දැවුම් පිළිස්සුම්  වෙද පරපුර

රාජසේකර දැවුම් පිළිස්සුම් වෙද පරපුර යනු මෙරට පැරණිතම දේශිය වෙද පරම්පරාවන්ගෙන් එකකි. එකී පරම්පරාවේ පූර්වජයින් සීතාවක රාජසිංහ රජුගේ රාජකීය වෛද්‍යවරුන් ලෙසද කටයුතු කර ගෞරවයටත්  පත්ව ඇත්තෝය. එවැනි කිර්ති‍යමත් සමාජ පසුබිමක් ඇති රාජසේකර වෙද පරපුරේ දහනම වන සියවස අගභාගයේ සිට මේ දක්වා පෙළපත සොයාගෙන යෑමේදී විශේෂ වෛද්‍යවරුන් සිවුදෙනෙකු ‍හමුවේ. පළමුවෙන්ම වෛද්‍ය දොන් ජුවන් රාජසේකර මහතා, ඉන්පසුව වෛද්‍ය ලුයිස් රාජසේකර මහතා, පසුව විශේෂ වෛද්‍ය එස්.ඩී.එල් රාජසේකර මහතා සහ වත්මන් පුරුක විශේෂ වෛද්‍ය පී.එල් රාජසේකර මහතා යන අය  දහනම වන සියවසේ අග සිට මේ දක්වා එම පරම්පරාව නියෝජනය කල වෛද්‍ය පුරුක් හතර ලෙස දැක්විය හැක.

රාජගිරිය රජයේ ආයුර්වේද රෝහලේ දැවුම් පිළිස්සුම් ඒකක භාර ආරම්භක ප්‍රධානියා ලෙස පත්වන්නේද විශේෂ වෛද්‍ය එස්.ඩී.එල් රාජසේකර මහතාය. ඒ වර්ෂ 1966 වර්ෂයේදීය. හදිසි අනතුරු ගණයෙහි ලා සැලකෙන පිළිස්සුම් අනතුරු සඳහා ඉතා සාර්ථක පරිපූර්ණ චිකිත්සාවක් එම ඒකකය තුලින් ලබා දීමට එතුමානෝ සමත් වී ඇත. ඒ සඳහා පදනම වැටී ඇත්තේද වර්ෂ 1963දී කීර්තිමත් බටහිර වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය සහ එකතුව යටතේ ආරම්භ කල සායනික පරීක්ෂණයකි. එහිදී වෛද්‍ය ආටිගල, වෛද්‍ය නවරත්න සහ වෛද්‍ය බිබිලේ යන බටහිර වෛද්‍ය උගතුන් සමග වසර දෙකහාමාරකට ආසන්න කාලයක් සිදුකල සායනික පරික්ෂණය සාර්ථක වී බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවකල නොහැකි වූ 80% – 90% ක් අතර ප්‍රමාණයක් සිරුර පිළිස්සුණු අසාධ්‍ය රෝගීන් සම්පුර්ණයෙන්ම සුව කිරීමට විශේෂ වෛද්‍ය  එස්.ඩී.එල් රාජසේකර මහතාට හැකිවි ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් එකල රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දේශිය දැවුම් පිළිස්සුම් චිකිත්සාවේ සාඵල්‍යතාවය පිළිගෙන විශේෂ පිළිගැනිමේ සහතිකයක්ද නිකුත්කර ඇත. ඒ හරහා ඇරඹුනු රජයේ ආයුර්වේද රෝහලේ දැවුම් පිළිස්සුම් ප්‍රතිකාර ඒකකය අද දක්වාම තම ජාතික වගකීම ඉතාම සාර්ථකව ඉටුකරමින් සිටින්නේ එසේ ලැබුණු ශක්තිමත් ආරම්භය නිසාවෙනි. රාජසේකර වෛද්‍ය පරපුරේ වර්තමාන පුරුක විශේෂ වෛද්‍ය පී.එල් රාජසේකර මහතා වර්තමාන දැවුම් පිළිස්සුම් ප්‍රතිකාර ඒකකය භාර ප්‍රධාන වෛද්‍යවරයාය. පිළිස්සුම් තුවාල සහිත රෝගීන්ට නේවාසික ප්‍රතිකාර ලබා දීමද එම ඒකකය මගින් සිදුකරන අතර එම සියළු කටයුතු රාජසේකර මහතාගේ අධික්ෂණය යටතේ සිදු කෙරේ.

රාජසේකර ආයුර්වේද රෝහල

විශේෂ වෛද්‍ය පී.එල් රාජසේකර මහතාගේ වත්මන් අධිපතිත්වයෙන් ගම්පහ ගොරකදෙනිය ග්‍රාමයේ පිහිටා ඇති රාජසේකර ආයුර්වේද රෝහලද දැවුම් පිලිස්සුම් රෝගීන් සඳහා නොවාසිකව ‍ප්‍රතිකාර ලබා දෙන සුවිශේෂි ස්ථානයකි. එහිදි රාජසේකර වෛද්‍ය පරම්පරාවටම අනන්‍ය වූ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ඉතා විශිෂ්ඨ ප්‍රතිකාරයක් පිළිස්සුම් රෝගින් වෙනුවෙන් සිදුකරනු ලැබේ. කල්ගතවූ සහ නව පිළිස්සුම් තුවාල නිසා පිඩාවට පත් රෝගින් විශාල ගණනක් දිනපතාම මෙම රෝහලේ පිහිට සොයාගෙන එන්නේ එම දේශිය චිකිත්සාව කෙරෙහි ඇති අචල විශ්වාසය නිසාවෙනි. බොහෝ විට පිළිස්සුම් තුවාල සිදුවූවන්ගේ සමේ විකෘති වී ගිය පිළිස්සුම් කැළැල් ඉතිරි වන්නේ මුලික ප්‍රතිකාරයේදි ඒ පිළිබඳව වෛද්‍යවරුන්ට කල හැකි කිසිවක් නොමැති නිසාවෙනි. නමුත් දේශිය චිකිත්සාවේ විශ්වකර්‍ම වෙදකමක් වන රාජසේකර දැවුම් පිළිස්සුම් වෙදකම තුලින් පිළිස්සුම් රෝගීයාගේ පිළිස්සුම් තුවාල නිසා හානිවු අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ප්‍රතිකාර සිදුකරන අතරම ආරම්භයේ සිට පිළිස්සුණු බාහිර සමටද ප්‍රතිකාර සිදුකරන්නේ බාහිර සමද විකෘති නොවී ආරක්ෂා කර ගැනුමටය. ඒ සඳහා විවිධ ශාකමය ඖෂධ සහ රාජසේකර පරම්පරාවේ අනන්‍ය චිකිත්සා මූලධර්මද අනුගමනය කිරීම නිසා රෝගින් සුවපත් වන විට පිළිස්සුම් තුවාල කැළැල් රහිතව සුවපත් වීම දක්නට ලැබේ.

රාජසේකර දැවුම් පිලිස්සුම් රෝහල තුල නේවාසිකව සිටිනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමේදි වෛද්‍ය රාජසේකර මහතා විසින්ම රෝගීන්ගේ බොහෝ ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට වගබලා ගනී. පිළිස්සුම් තුවාල යනු නිරන්තර සුපරික්ෂාවට භාජනය විය යුතු තුවාල අවස්ථාවක් වන අතරම තුවාල වල ස්වභාවයන්ද ඉතාමත් බරපතල වේ. මෙවැනි රෝගීන් කලමනාකරණය කිරීම ඉතාමත් අවබෝධයෙන් සහ අවධානයෙන් සිදු කල යුතු කටයුත්තකි. රෝගින්ගේ වේදනාවන් අවබෝධ කරගනිමින් ඇතිවී තිබෙනා තුවාල පිළිබඳව පිළිකුල් හැඟීම් ඇති නොකර ගනිමින් රෝගියාට ප්‍රතිකාර කල යුතුය. රාජසේකර වෛද්‍යතුමා තම නිරුවත් දෑත් වලින්ම රෝගීන්ව ස්පර්ශ කරමින් රෝගීන් පරික්ෂා කරන්නේත් ප්‍රකිතාර සිදුකරන්නේත් රෝගීයාගේ සැබෑ තත්ත්වය තම දෑත් වලින්ම ස්පර්ෂ කොට දැනගැනීමටත් රෝගියාට තමන් කෙරෙහි ආත්ම විශ්වාසයක් වර්ධනය කරවීම පිණිසත්ය. එතුමා  සැබෑම ජීවකයෙකු වන්නේ ඒ නිසාවෙනි. රාජසේකර වෙද පරපුරේ විශේෂත්වය වන්නේ හුදෙක් ඖෂධ මගින් පමණක් මෙම රොගීන්ට ප්‍රතිකාර නොකොට රෝග ප්‍රතිකාරයේදී යම් යම් නෙපෙනෙන බලවේගයන්ගේන්ද ප්‍රතිකාරයන්ට සහය ලබා ගැනීමයි. එතුමානො විශ්වාස කරන්නේ මේවැනි රෝගාවස්ථා වලින් පිඩා විදින රෝගීන්ට එවැනි නොපෙනෙන බලවේගයන්හි බලපෑම නිරන්තරයෙන් එල්ලවෙන බවත් ඒ සඳහා සුදුසු ප්‍රතිකාර සහ ක්‍රියාමාර්ග නොගතහොත් සම්පූර්ණ ප්‍රතිකාරයම අසාර්ථක වන බවත්ය. එ බැව්  ඒතුමානන් රාජසේකර දැවුම් පිළිස්සුම් ‍රෝහල තුලදී ක්‍රියාවෙන්ම ප්‍රායෝගිකව ඔප්පූ කරන්නේ තමන්ට පරම්පරාවේන් උරුම යන්ත්‍ර මන්ත්‍ර විධි ප්‍රතිකාරයේදි භාවිතා කිරීමෙනි.   

....................................................................................වෙදැස  අන්තර්ජාල විද්‍යුත් ටීකාව ඇසුරිනි.

No comments:

Post a Comment

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ...